දියවිනි ඇල්ල

බලංගොඩ නගරයේ සිට සැතපුම් 20 ක් දුරින් මෙම දිය ඇල්ල පිහිටා තිබේ. දියවින්න කන්ද ලෙසින් දියවින්න ප්‍රදේශ වාසීන් විසින් හඳුන්වන කඳු වැටිය තුළින් පහළට ගලා හැලෙන දුවිලි ඇල්ල අඩි 200 ක් පමණ උස වේ. කල්තොට හරහා එන වළවේ ගඟෙහි අතු ගංගාවක් වන කටුපත් ඔය මෙසේ දියවිනි ඇල්ල ලෙසින් පහළට කඩා හැලී උඩවළව ජලාශයට එක් වේ. ඉන්නක් සේ දිය වැටෙන දිය ඇල්ල නිසා මෙම ගම්මානයට දියඉන්න නොහොත් දියවින්න යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. දිය ඇල්ල මැද නාග අක්ෂරයක් කොටා ඇති අතර දැඩි නියං කාල වලදී එම නාග අක්ෂරය හොඳින් පැහැදිලිව දැක ගත හැකිය. දිය ඇල්ල ආශ්‍රිතව වළගම්බා රජු විසින් කරවන ලද්දක් බව සැළකෙන දේවගිරි රජමහා විහාරයද පිහිටා තිබේ. සොබා දහමින් දායාද කළ මෙම චමත්කාරජනක දිය ඇල්ලෙන් ලැබෙන ජල ධාරාවෙන් දියවින්න හා හඳගිරිය ආදී ගම්වල විශාල කෙත් යායවල් සරු කෙරේ. සැතපුම් දෙක තුනක් ඈතට දිවෙන දුර්ලභ දර්ශනයක් සහිත සුන්දර දිය ඇල්ලක් ලෙස මෙම දිය ඇල්ල හඳුන්වා දිය හැකිය. බලංගොඩ දියවින්න මාර්ගයේ ගමන් කරන විටදී සහ වැලිගෙපොල හරහා දියවින්න මාර්ගයේ ගමන් කරන විට (සමනළවැව ජල විදුලි බලාගාරය පිහිටි මාර්ගය) දියවින්න ගම්මානයේ දේවගිරි රජමහා විහාරයට නුදුරින් මනරම් වෙල් යායට ඉහළින් මෙම දිය ඇල්ල පිහිටා තිබේ.