හැදින්වීම

දකුණු ආසියාතික මානව ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය උරුමයකට හිමිකම් කියන බළන්ගොඩ පුරවරය ඓතිහාසික වූත් සුන්දර වූත් පරිසරයකින් යුත් ප්‍රදේශයකි.සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ මහවලතැන්න සානුවේ පිහිටි නැගෙනහිර බෑවුමෙන් ආරම්භ වී කල්තොට බෙල්ලන්ගල කන්ද දක්වා විහිද යන වර්ග කි.මී. 120ක භූමි භාගයකින් යුත් අප බල ප්‍රදේශය දැනට වසර 2500 කට පෙර ඓතිහාසික යුගයක නටබුන් ශේෂ ගතව පවතින අභිමානවත් වූ පුරවරයකි.

ඓතිහාසික උග්ගල් කල්තොට කාලථිත්ත රාජධානියේ ලසම හා සුමන පාලකයන්ගේ පාලනයත් සමනළ ගිරිකුල සුමන සමන් ප්‍රාදේශීය පාලකයාගේත් අද්විතීය පාලන තන්ත්‍රයක ඓතිහාසික තොරතුරු දක්නට ඇති පුරවරයකි. ලෝකයේ ඉපැරණි 3 වන පර්සියන් කඩුකස්ථාන යුරෝපයට අපනයනය කරන ලද ජාතියක් බවත් 2012 කරන ලද පුරාවිද්‍යා කැණීම් වලට අනුව හල්දුම්මුල්ල,උග්ගල් කල්තොට,මරංගහවෙල ප්‍රදේශ අනාවරණය කළේය. 2013 දී කූරගල කැණීම් තුළින් ලබා ගත් ඓතිහාසික අනාවරණයට අනුව වසර 50000කට වඩා පැරණි අඩි 10ක් පමණ උස් වූ මිනිසුන් දිවි ගෙවූ පුරවරයක් ලෙසද පුරා විද්‍යා සාධක මඟින් සනාථ වි ඇත.

බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මි.120 කි. බළන්ගොඩ සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 02 කින් සමන්විත වන අතර බළන්ගොඩ , කල්තොට හා වැලිගෙපොල පොලිස් වසම් 03කින් ආවරණය වන අප බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 53කින් සමන්විත වේ. මුළු ජනගහනය 62251 ක් පමණ වන අතර ලියාපදිංචි මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව 54770 කි. බළන්ගොඩ කල්තොට මාර්ගයේ කි.මි. 5ක් පමණ පැමිණිවිට දිගදුර ගමෙහි සුන්දර ස්ථානයක බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබේ.

සභාව මගින් ක්‍රියාත්මක වන සේවා අතර ගොඩනැගිලි සීමා හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම, ජල සහතික නිකුත් කිරීම, පෙර පාසල්, ආයුර්වේද, පුස්තකාල, ආදාහනාගාර හා සති පොල සහ කසල එකතු කිරීම වැනි සේවා රාශියක් ඉටු කිරීම මඟින් බල ප්‍රදේශයේ ඡනතාවගේ ඡිවන තත්වය ඉහල නැංවිමට දායක වේ.