විනෝද බදු අය කිරීම

1. හැඳින්වීම

බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත සිදු කරනු ලබන යම් විනෝද කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළු කර ගැනීමට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයකට සමාන මුදල් ප්‍රමාණයක් විනෝද බද්ද වශයෙන් නියම කර අය කර ගැනීමට පළාත් පාලන ආයතනවලට විනෝද බදු ආඥාපනතෙන් නෛතික බලය පවරා දී ඇත. මේ යටතේ පළාත් පාලන ආයතනයක් විසින් අය කිරීමට තීරණය කොට නියම කරන ලද විනෝද බද්ද අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ දින සිට ක්‍රියාත්මක වේ.

සටහන:

I. කිසියම් විනෝද කාර්යයක් පවත්වනු ලබන ස්ථානයට ප්‍රවේශ වීමට සහ ඇතුළත කෙරෙන විනෝද කාර්යය සඳහා වෙන වෙනම ගාස්තු අය කරනු ලබන විටක දී, ඒ සෑම අය කිරීමක් ම විනෝද බද්දට යටත් වනු ඇත.

II. කිසියම් විනෝද කාර්යයක් සඳහා මුද්‍රණය කරන ලද ප්‍රවේශ පත්‍ර නොමැති ව අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත ව හෝ වෙනත් යම් ආකාරයකින් ගාස්තු අය කරනු ලබන අවස්ථාවක දී ද, අය කර ගත් මුදලට සරිලන අනුපාතය මත එකී විනෝද බද්ද ගෙවිය යුතු ය.

III. තමන් විසින් ම ක්‍රියා කරන හෝ ක්‍රියා කරවන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රියාකාරකමකින් විනෝද වීමේ අවස්ථාවක, ඒ සඳහා ගාස්තු අය කරනු ලබන්නේ නම්, එසේ අය කරනු ලබන ගාස්තුව ද විනෝද බද්දට යටත් වනු ඇත.

2. නීතිමය අධිකාරිය

267 වන අධිකාරිය වන විනෝද බදු ආඥාපනත

3. ගාස්තුව (බද්ද)

පළාත් පාලන ආයතනය විසින් යෝජනා සම්මතයකින් තීරණය කර, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවේශපත්‍ර ආදායමෙන් 10% ප්‍රතිශතයට සමාන මුදල.

සටහන:

I. අය කර ගන්නා ලද විනෝද බදු මුදල පළමු ව සභාවේ තැන්පත් ගිණුමේ තැන්පත් කර ගත යුතු ය.

II. විනෝද කාර්යය අවසන් වීමෙන් පසුව මුද්‍රා තබන ලද ප්‍රවේශ පත්‍රවල ඉතිරි වූ ප්‍රමාණය ඉදිරිපත් කිරීමෙන් පසු විකුණන ලද ප්‍රවේශ පත්‍රවලට අදාළ විනෝද බදු මුදල ගණන් බලා, ඒ මුදල සභාවේ ආදායමට ද, ඉතිරිය සංවිධායක වෙත ද ආපසු ගෙවනු ලැබිය යුතු අතර, තැන්පත් කර ගෙන ඇති මුළු මුදල ම තැන්පත් ගිණුමට ගැළපීම් කළ යුතු ය.

4. බද්දට යටත් තැනැත්තා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ

I. මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුතු ප්‍රවේශ පත්‍ර (විනෝද කාර්යය කෙරෙන ස්ථානය තුළ ගාස්තු අය කරන සෑම ස්ථානයකටම අදාළ) පළාත් පාලන ආයතනයේ පරිපාලන ප්‍රධානියා වෙත ඉදිරිපත් කොට ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා ගත යුතු ය. (මේ ඉල්ලීම සමග ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරන ලද මුද්‍රණාලයේ අයිතිකරු හෝ කළමනාකරු විසින් නිකුත් කරන ලද මුදල් භාරගැනීමේ කුවිතාන්සියේ මුල් පිටපත සමග ඡායා පිටපතක් ද ඔහු විසින් වෙනම නිකුත් කරනු ලැබු සහතිකයක් ද මගින් මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුතු ප්‍රවේශ පත්‍ර වල ප්‍රමාණය තහවුරු කළ යුතු ය.)

II. මුද්‍රා තබන ලද ප්‍රවේශ පත්‍ර සියල්ලේ ම වටිනාකමින් 10% විනෝද බද්දට යටත් මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කළ යුතු ය.

සටහන: විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඉල්ලා සිටින තැනැත්තකු ද මේ යටතේ වන විනෝද බද්දේ ප්‍රමාණය සභාවේ තැන්පත් කළ යුතු ය.

5. විනෝද බද්ද අය කර ගැනීමේ පටිපාටිය

සටහන:

I. මෙහි ඉල්ලුම්කරු යන්නට විනෝද කාර්යයක් වන විට, එහි හිමිකරු හෝ සංවිධායක හෝ ඔහුගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් නියෝජිතයකු ද අදහස් වේ.

II. විද්‍යුත් ප්‍රවේශ පත්‍රවල මුද්‍රාව තැබීම සඳහා සංවිධායක විසින් හඳුන්වා දුන් මුර පදය අවභාවිත කිරීම වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ කාර්යය විය යුතු ය.

පටිපාටිය කාල සීමාව අධිකාරය
නිකුත් කිරීමට සූදානම් කර ඇති එක් එක් වටිනාකමින් යුත් මුද්‍රිත ප්‍රවේශ පත්‍ර පෙරටු කාර්යාලයට ඉදිරිපත් කිරීම විනෝද කාර්යය ආරම්භ කිරීමට පෙර දින තුනකට කලින් ඉල්ලුම්කරු
භාර ගත් ප්‍රවේශ පත්‍රවල සහ විද්‍යුත් ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව අය කර ගත යුතු විනෝද බද්දේ ප්‍රමාණය ගණන් බලා ඉල්ලුම්කරු දැනුම්වත් කිරීම ප්‍රවේශ පත්‍ර භාර ගත් අවස්ථාවේ දී පෙරටු කාර්යාල නිලධාරි
ගෙවිය යුතු විනෝද බද්ද පෙරටු කාර්යාලයට ගෙවීම ගෙවිය යුතු මුදල් ප්‍රමාණය දැන්වූ වහාම ඉල්ලුම්කරු
අය කර ගත් විනෝද බද්ද සඳහා ලදුපතක් සහ පසු විපරම් අංකයක් නිකුත් කිරීම මුදල් ගෙවූ වහාම පෙරටු කාර්යාල නිලධාරි
අය කර ගත් විනෝද බද්ද තැන්පත් ගිණුමට බැර කර, මුද්‍රිත ප්‍රවේශ පත්‍ර මුද්‍රා තැබීම සඳහා කාර්යාල කාර්ය සහායකයකු යෙදවීම ලදුපත නිකුත් කළ වහාම පෙරටු කාර්යාල නිලධාරි
මුද්‍රිත ප්‍රවේශ පත්‍රවල මුද්‍රාව තබා පෙරටු කාර්යාලයට භාර දීම ප්‍රවේශ පත්‍ර භාර ගත් දිනට පසු දින කාර්ය පැවරූ කාර්යාල කාර්ය සහායක
මුද්‍රා තබන ලද මුද්‍රිත ප්‍රවේශ පත්‍ර රැගෙන යන ලෙස ඉල්ලුම්කරුට දැන්වීම ප්‍රවේශ පත්‍ර මුදා තබා අවසන් බව වාර්තා වූ වහාම පෙරටු කාර්යාල නිලධාරි
මුද්‍රා තබන ලද ප්‍රවේශ පත්‍ර ඉල්ලුම්කරුට භාර දී අත්සන් ලබා ගැනීම ඉල්ලුම්කරු පැමිණි වහාම පෙරටු කාර්යාල නිලධාරි
අය කරන ලද විනෝද බද්ද පියවීමට හෝ අය කර ගත් විනෝද බදු මුදලේ ඉතිරිය ආපසු ඉල්ලා සිටීම විනෝද සංදර්ශනයක් වන විට, එම විනෝද කාර්යය අවසන් වූ දින සිට මාසයක් ගත වීමට පෙර ඉල්ලුම්කරු
ඉල්ලුම්කරුට පසු විපරම් අංකයක් නිකුත් කර ඉල්ලීම විෂය භාර නිලධාරි වෙත යොමු කිරීම ඉල්ලීම ලැබුණු වහාම පෙරටු කාර්යාල නිලධාරි
විනෝද සංදර්ශනයට අදාළ ව අය කර ගත් විනෝද බදු මුදලෙන්, විකුණා නැති ප්‍රවේශ පත්‍රවල වටිනාකම සංවිධායකට ගෙවීම ඉල්ලීම ඉදිරිපත් වූ දින සිට දින දෙකක් ඇතුළත විෂය භාර නිලධාරි
තැන්පත් ගිණුමට සහ විනෝද බදු ආදායම් ශීර්ෂයට ගැළපීම් කිරීම ඉල්ලීම ඉදිරිපත් වූ දින සිට දින දෙකක් ඇතුළත විෂය භාර නිලධාරි
විනෝද බද්ද අය කර ගැනීම සහ ලදුපතක් නිකුත් කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමග ම ආදායම් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ ක්‍රියා කිරීමට නම් කළ නිලධරයා
අය කර ගත් විනෝද බද්ද පිළිබඳ දත්ත විෂය භාර නිලධාරිට වාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීම එදින ම ආදායම් පරීක්ෂක
අය කර ගත් විනෝද බද්ද පිළිබඳ තොරතුරු විනෝද බදු ලේඛනයේ සටහන් කිරීම ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළත විෂය භාර නිලධාරි
තැන්පත් කළ විනෝද බදු මුදල නිදහස් කළ නොහැකි අවස්ථාවක දී වන විට, ඒ බව සංවිධායක වෙත දැනුම් දීම සහ විකිණී නැති උප පත්‍රිකාව සමග වූ ප්‍රවේශ පත්‍ර ඉල්ලා ගෙන ඒවා අවලංගු කිරීම සහ ඒවාට සරිලන මුදල සංවිධායකට නිදහස් කර තැන්පත් ගිණුමේ ඇති ශේෂය විනෝද බදු ආදායම් ගිණුමට මාරු කර ගිණුම් පියවීම නියෝගය ලැබූ දින සිට දින හතක් ඇතුළත විෂය භාර නිලධාරි