වරිපනම්

1. හැඳින්වීම

ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ.

එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත.

ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ. ඒ අනුව බලංගොඩ ප්‍රාදේශිය සභාව සතු වරිපනම් ඒකක ගණන 1095ක් වේ.

වරිපනම් ඒකක ගණන – 1095

  • කල්තොට පාර වම/දකුණ – 526
  • වැලිගෙපොල පාර වම/දකුණ – 266
  • රාස්සගල පාර වම/දකුණ – 127
  • රත්නපුර පාර වම/දකුණ – 176

2. නෛතික අධිකාරිය

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට ද, ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

3. සුදුසුකම් / අදාළ වීම

  • කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.
  • එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

4. ගෙවිය යුතු ගාස්තුව

  • පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.
  • තක්සේරු නිවේදනය බාරදෙන අවස්ථාව වන විට කලින් ගෙවිය යුතු වරිපනම් හිඟයක් වේ නම්, එම මුදල කොපමණ ද යන්න එහි සඳහන් කර ඇත. එම හිඟ මුදල ද පියවිය යුතු ය.

වර්ෂයේ ජනවාරි මස 31වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික වරිපනම් බද්දේ ප්‍රමාණයෙන් 10%ක වට්ටමක්ද, මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30, දෙසැම්බර් 31 යන දින වලින් අවසන්වන එක් එක් කාර්තුවට අදාල වරිපනම් බදු මුදල ඒ එක් එක් කාර්තුවේ ප්‍රථම මාසයේ අවසන් දිනය වනතෙක් ප්‍රාදේශීය සභාව වෙත ගෙවනු ලැබුවහොත් 5%ක වට්ටමක්ද ගෙවිය යුතු බවත් සඳහන්ය.

5. ඉදිරිපත් කළ යුතු ලේඛන

  • පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය.
  • තක්සේරු නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ දේපළෙහි පිහිටීම (පාර, වරිපනම් අංකය, ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

6. තක්සේරු ප්‍රතිශෝධනය

2023/09/05 දින තීරණ අංක 46 අනුව, 2024 වර්ෂයේ සිට තක්සේරු ප්‍රතිශෝධන ගාස්තුව ලෙස රු. 1000.00 ක් අයකිරීම අනුමත වී ඇත. ඒ අනුව, 2026 වර්ෂය සඳහා තක්සේරු ප්‍රතිශෝධන ගාස්තුව ලෙස රු. 1000.00 ක් ගෙවිය යුතු වේ. ඒම තක්සේරු ප්‍රතිශෝධනය සඳහා පහත සදහන් ලිපි ලේඛන ඉදිරිපත් කල යුතුවේ.

  • වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සිදු කිරිමට අවශ්‍ය බව දන්වල දේපල අයිතිකරුගේ ඉල්ලිම් ලිපිය
  • පෙරකදොරු /නොතාරිස්වරයෙකුගේ අත්සනින් සහතික කරන ලද අයිතිය සහතකි කිරිමේ සහතිකය
  • සත්‍ය පිටපතක් සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
  • සහතික කරන ලද සැලැස්මෙහි පිටපතක්
  • සහතික කරන ලද පත්තිරුවල පිටපත්