ගල්ටැම්යාය

බළන්ගොඩ නගරයේ සිට කල්තොට දක්වා දිවෙන මාර්ගයේ 15 වන සැතපුම් කනුවට (25KM) නුදුරුව දකුණු දෙසට දිවෙන මාර්ගයේ අඩි 200ක් ගිය තැන ගල්ටැම්යාය පුරාවිදු භූමිය පිහිටා ඇත. කුරුණෑගල යුගයට අයත් පංචාවාසයක් බවට සැලකෙන මෙය කුරුදියවෙල විහාරය ලෙස හදුන්වා තිබේ. තංජන්තැන්න ග්‍රාමසේවා කොට්ඨාශයට අයත් මෙම භූමිය 1951 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදි. දැනට පැහැදිළිව හදුනාගත හැකි අංක 01 බුදු කුටිය 30×50 ප්‍රමාණයේ සමචතුරශ්‍රාකාර කුටියකි. එහි ඊසාන දෙසට වන්නට ගල්ටැම් 05ක් දැකගත හැකිය. එයට සමානව වයඔ දෙසින්ද ගල්ටැම් කිහිපයකි ගිණිකොන දෙසට වන්නට කොරවක්ගල් දෙකක් සහිත සදකඩ පහණක් හා පියගැට පෙළ තුනක්ද ශේෂවූ මුරගලක කොටසක්ද ද්වාරයේ ඉහල “පේකඩ“ කොටසක්ද දැකගත හැකිය. දැනට ශේෂව ඇති එකම පිළිම ගෙය මෙය වේ. අංක 02 බුදු කුටිය තුළ දැනට ඇත්තේ හරස්කොටු වැටුනු ගල්ටැම් කිහිපයක් පමණි. එයට වම් පසින් ඇති කුටියෙහි (අංක 03) ගල්වැටි කිහිපයක කොටස්ද අඩක් යටවී ඇති කොරවක් ගලක කොටසක්ද දැකගැනීමට පුළුවන. එම කුටිය ඉදිරියේ ඇති අංක 04 පිළිම ගෙයි අඩි 5×2 ½ ප්‍රමාණයේ පැතලි ගල් පුවරුවකි. මෙහිද ගල්ටැම් කිහිපයක කොටස් පතිත වී ඇත. මෙම පංචායතන සැළැස්මෙහි මධ්‍යයහි ඇති කුටියහි ද (අංක 05) මෙහි බොහෝ ලක්ෂණ දැකගත හැකිය. නිරිත දෙසින් වූ කුටියට ඇතුළුවීම සදහා වූ ද්වාර මණ්ඩපයේ පියගැටපෙල කොරවක්ගල සහිත ද්වාරයේ (රබාවේ ඉහල කොටස) පැහැදිළිව හදුනාගත හැකි පරිදි බිම පතිත වී ඇත. මෙහි සියළුම ගල්ටැම් අවශේෂ හා අනෙකුත් ගොඩනැගිළි අවශේෂ අක්කර 2½ ක පමණ භූමිභාගයක විසිරී පවතී. මෙම පංචායතන සැළැස්මට දකුණු හා නිරිත දිග වයඹ ප්‍රදේශයන්හි තවත් ගොඩනැගිළි කිහිපයක අවශේෂ දැකගත හැකිය.