බුදුගල රජ මහා විහාරය
බලංගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් විහාරස්ථාන අතරින් බුදුගල රජ මහා විහාරයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. මෙය ඓතිහාසික වැදගත්කමකින් යුත් පධානඝර සහිත භූමියකි. බුදුගල රජ මහා විහාරයට අයත් නූතන සංඝාවාසයට හා ශෛලමය ගල් කුළු වලින් ගහන සතර මහා දේවාල ඉදි කර ඇති ගල් දෙබොක්කාවට ඉදිරියෙන් නැගෙනහිර දිශාවට මෙම පධානඝර භූමිය පිහිටා තිබේ. මීට මදක් ආසන්නව පහත මළුවේ භූමි මට්ටමින් අඩි 05ක් පමණ උසකින් ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුත් කුටි 2කින් සමන්විත සංරක්ෂණය කරන ලද පධානඝරයක් හමුවේ.පධානඝරයේ මධ්‍ය ප්‍රමාණයෙන් මැද වේදිකාවේ සිට දෙපසට බැසිය හැකි බරිදි පිය ගැටපෙළ හතරකින් යුත් සෝපා පන්ති 02කි. මෙම පධානඝර කුටි 02හි යුගල වශයෙන් පේළියට සමදුරින් සකස්කරන ගල් ටැම් 16ක් තිබී ඇති බව දැනට ඉතිරිව ඇති ටැම් පාද වලින් පැහැදිලි වේ. පධානඝරයේ දකුණු පසින් වූ කුටියේ නැගෙනහිර මායිමේ නෙළුම් මල් සහ කොළ සහිත නෙළුම් මල්, කැකුළු, දඩු, කෙමිය හා කර්ණිකාව පැහැදිලිව දක්වා ඇති අපූරු නිර්මාණයක් ද වේ. මෙම පධානඝරයට උතුරු දෙසින් ඊට ආසන්නව ගල් පර්වතයට යාව කැටයමින් තොර වැසිකිළි ගල් පුවරුවක් ද වේ. පහත මළුවේ වූ පධානඝරයේ සිට ඉහල මළුවේ වූ පධානඝරයට පිවිසීමට ඇත්තේ ගල් වැටි අල්ලා සකස් කරන ලද පිය ගැට පෙළකි. මෙලෙස බෑවුම්ගත භූම් භාගයක පිහිටා ඇති බුදුගල පධානඝර ආරණ්‍යයේ නටඹුන් අක්කර 15 ක පමණ වපසරියක පැතිරී තිබේ. එහි රහතන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිට ඇති බවට සැලකෙන භාවනා කුටි 24 ක නටඹුන් හමුවී තිබේ. බුදුගල රජ මහා විහාරස්ථානය ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ඇති ස්ථාන නාමාවලියට ද අයත්වන ප්‍රධාන ස්ථානයකි..
රථ වාහන නැවැත්වීමේ පහසුකම්
වර්තමානය වන විට බුදුගල රජ මහා විහාරය අසල බළන්ගොඩ ප්‍රාදේශීය සභාව සතු සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබන රථ වහාන අංගනයක් සකස් කර ඇත. එම අංගනයට රථ වාහන ඇතුල් කිරිම සඳහා පහත ගාස්තු අය කරනු ලැබේ.
- මෝටර් බයිසිකල් / ත්‍රීරෝද රථ - රු. 50.00
- වෑන් / කැබ් / ජිප් / කාර් - රු. 100.00
- බස් / ලොරි - රු. 150.00
එම රථ වාහන අංගනය තුළ වැසිකිළි පද්ධතියක් සකස් කර එහි පිරිසිදු කිරිම් සිදු කිරිම බළන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි. වැසිකිළි පහසුකම් සඳහා එක් අයෙකුට රු. 20.00ක මුදලක් අය කරනු ලබයි.